අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
එම කොමිසම මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදී ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ අනෙකුත් විශේෂිත අංශයන්ට පැමිණිලි කිරීමේ ප්‍රවණතාව පදනම් කර ගෙනය.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වාදී ඇත්තේ “අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ” අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින් මෙසේ නිර්දේශ කරන බවයි.
ඒ අනුව, අසත්‍ය යැයි කියන ප්‍රකාශ හෝ අපහාස, ශ්‍රී ලංකාවේ “සාපරාධී වරදක්” නොවන බව සිහිපත් කරමින්, පොලිස්පතිවරයා විසින් ශ්‍රී ලංකා පොලිසියේ සියලු ම අංශ සහ පොලිස් ස්ථාන වෙත නියමයක් නිකුත් කළ යුතු යැයි ද මානව හිමිකම් කොමිසම අවධාරණය කර ඇත. එහිදී උපකල්පිත අපහාස සම්බන්ධයෙන් පමණක් පැමිණිලි වාර්තා කිරීමෙන් හෝ විමර්ශනය කිරීමෙන් හෝ වැළකිය යුතු බව අදාළ නියමයට ඇතුළත් කළයුතු යැයි ද කොමිසම සඳහන් කර තිබේ.
එමෙන්ම අසත්‍ය හෝ අපහාසාත්මක යැයි කියන ඕනෑම ප්‍රකාශයක් අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින් දේශපාලන නායකයින් විසින් ඒ සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන “සිදු කළා යැයි උපකල්පිත“ අපහාසාත්මක ප්‍රකාශන පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රකාශනයේ නිදහස සහ අන්තර්ජාල ආරක්ෂාව අවහිර කිරීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ දැක්වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ පුද්ගලයින්ගේ ප්‍රකාශ හරහා තමන්ට අපහාස වූ බව කියමින් වත්මන් රජයේ ඇමතිවරුන්, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පුද්ගලයින් රැසක් පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ අවස්ථා රැසකදී CIDයට පැමිණිලි ඉදිරිපත් කරනු දැකගැනීමට ලැබිණි. සමාජ මාධ්‍ය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට “අපහාස පරීක්ෂණ දෙපාර්තමේන්තුව” යැයි නමක් පටබැඳෙන්නට පවා හේතුවන තරමට මෙය දුරදිග ගොස් තිබෙනු දැකගත හැකිවිය.
මෙවන් තත්වයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කර ඇති නිර්දේශ ඇතුළත් සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
Saru News








