අනතුරට හේතු සොයා බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශේෂ පරික්‍ෂාවකට

0
6


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී ගිය බස් රථය සම්බන්ධයෙන් විශේෂ පරික්‍ෂාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

ඒ අනුව අද හෝ හෙට දිනයේදී එම නිලධාරීන් පැමිණ අදාළ පරික්‍ෂාව සිදු කරන බවයි පොලීසිය පැවසුවේ. 

ප්‍රපාතයට පෙරලුණු බස් රථය ඊයේ පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබුවා. 

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් එම බස් රථයේ කොටස් ගොඩ ගෙන තිබෙනවා. 

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථය එලෙස ප්‍රපාතයකට පෙරළීමට හේතු විමර්ශනය කිරීමට අදාළ පරික්‍ෂණය සිදු කරන බවද පොලීසිය පැවසුවා. 

අදාළ අනතුරෙන් පුද්ගලයින් 22කු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලැබුවා. 

මිය ගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වන විට සිදු කර අවසන් අතර තවත් පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරනු ලබනවා. 

මේ අතර ගැරඩිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ පස්වරුවේ ගම්පොළ සහ පේරාදෙණිය  රෝහල් වෙත ගොස් තිබෙනවා.  

එහිදී අග්‍රාමාත්‍යවරිය දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිළිබඳවත්,  ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පහසුකම්  පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ. 

අග්‍රාමාත්‍යවරිය මාධ්‍යය වෙත පැවසුවේ මෙය ඉතාම බරපතල ඛේදවාචකයක් බවයි. 

රටේ දිනකට විශාල රිය අනතුරු ප්‍රමාණයක් සිදු වන බවත් මෙවැනි අනතුරු වැළැක්වීමට රජය විශාල උත්සාහයක් දරන බවයි ඇය එහිදී පැවසුවා. 

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක හා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ද එක් වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here