අධිකරණ ඇමති බන්ධනාගාරවල තත්වය පිරික්සයි…

0
12


කොළඹ, වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමති නීතීඥ හර්ශන නානායක්කාර අද (27) කටයුතු කර තිබේ.
එහිදී බන්ධනාගාර නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී සිරකරුවන්ගේ තදබදය අවම කිරීම, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව, සිරකරුවන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාධනය ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු කර ඇත.
මරණ දඬුවම නියමව සිටින හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින සිරකරුවන්ට හා සෙසු රැදවියන්ට පවතින ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, බන්ධනාගාරගතව සිටින රැඳවියන් නිරතව සිටින වඩු, බේකරි, මැහුම්, පොත් බැඳීම්, ඇඳුම් පිරිසිදු කිරීමේ අංශ ඇතුළු කර්මාන්ත නිරීක්ෂණය කර තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ ඇමති නීතීඥ හර්ශන නානායක්කාර,
“වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින ගැටළු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සිරකරුවන්ට පවතින ගැටළු, ඔවුන්ගේ පුනරුත්ථාපන කටයුතු පිලිබදව සාකච්ඡා කරනු ලැබුවා. මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන්ට පවතින ගැටළු පිළිබදව ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ ගැටළු සදහා විසදුම් ලබාදීමට පවතින නීතීවලට අනුව සමාලෝචන ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරනවා. කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ අධික තදබදයක් තිබෙනවා. එම අධික තදබදය සඳහා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් හා පරිපාලනමය ගැටළු බලපා තිබෙනවා. මේ ගැටළු සදහා කිසිවෙකුට දොස් පැවරන්නේ නැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්ති තීන්දු පිලිබදව සාකච්ඡා කරනු ලැබුවා. එම තීන්දු හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරනවා.
බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව අවධානය යොමුව තිබෙනවා. කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. බාධක අපහසුතා රාශියක් මධ්‍යයේ වුවත් බන්ධනාගාර නිලධාරීන් සුවිශේෂි මෙහෙවරක් සිදු කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව මෙන්ම ඔවුන්ට පවතින ගැටළු විසඳීමට උපරිම පියවර ගන්නවා.
මරණ දඬුවම් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ යහපත් කල් ක්‍රියාව, ඔවුන් සිර දඬුවම් විදින ලද කාල සීමාව, ඔවුන්ගේ පුනරුත්ථාපනය කාලය පිළිබදව සොයා බලා දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය පවතින නීතිමය ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ මට්ටමින් නැවතත් හඳුන්වාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා.” යැයි පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටි ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here