“අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය යුගයක් ඇරඹීමට සුදානම්”

0
4

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් ආරම්භ යුතු බවත්, එයට තමා සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නිදහස් චතුරස්‍රයේ දී අද (04) උදෑසන 78 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ දී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයකට නව මිනිසෙකු ගොඩනැඟීමට දරන ප්‍රයන්තයන්ට බාධා කරන්නේද ඒ සියල්ලට එරෙහිව පරිවර්තනීය කාර්යභාරයක් ඉටුකිරීමට රජය සුදානම් බවත් එයට පොදු ජනතාවගේ සහාය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත් ය.

අවුරුදු 133ක පීඩාකාරී කොල්ලකාරී, යටත්විජිත පාලනයෙන් 1948 දී ලංකාවට නිදහස හිමිවු බවත්, සියවස් ගණනාවක් පුරා යටත්විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මුත්තන් තමන්ගේ ලේ කඳුළු දාහඩිය මාතෘභූමියට පුජා කළ අතර එය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

“අද අප විසින් සමරනු ලබන්නේ 78 වන ජාතික නිදහස් දිනයයි. අවුරුදු 133ක් ඉතා කුරිරු පීඩාකාරී කොල්ලකරුවන්ගේ යටත් විජිත පාලනයෙන් 1948 වසරේදී අපි නිදහස ලැබුවා. ඒ වගේම සියවස් ගණනක් පුරා යටත් විජිතවාදයට එරෙහිව අපේ මුතුන් මිත්තන් තමන්ගේ ලේ කදුළු දහදිය මෙම මාතෘභූමිය වෙනුවෙන් පූජා කළා. එදා ඒ අපේ මුතුන් මිත්තන්ගේ ධෛර්ය සම්පන්න විශ්වාසනීය අරගලයේ ප්‍රතිඵලයක් ලෙස අපට අපගේම වූ ජනතා පරමාධිපත්‍යයක හිමිකාරිත්වය හිමි වුණා. 1948 වසර යනු අනේකවිධ කැපකිරීම් කරන ලද අපේ විරුවන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ ජයග්‍රහණයේ සහ වීරත්වයේ සංකේතාත්මක වසරයි.
විශේෂයෙන්ම, අපි කවුරුත් දන්නවා අපි ජීවිතයේ විවිධ අවධිවලට මුහුණ දෙනවා. බොහෝ අය තම තමන් වෙනුවෙන් සටන් කරමින් අරගලවල නිරත වෙනවා. එය දුලබ දෙයක් නොවෙයි. එහෙත් යමෙක් මාතෘ භූමිය වෙනුවෙන්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කරමින් සටන් වදිනවා නම්, ඔවුන් සැබැවින්ම වීරෝධාර විරුවන් බවට පත්වීම වළක්වන්න බැහැ. ඔවුන් යෙදෙන්නේ ඉතාමත් උත්තුංග ක්‍රියාදාමයක.
අද අපි දෙපය තබා සිටින මේ මහපොළොව අපේ මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු, අපේ ජනතාවගේ අභිවෘද්ධිය සහ අනාගතය වෙනුවෙන් සටන් වැදුණු අපේ මුතුන් මිත්තන්, සහෝදර සහෝදරියන්ගේ ලේ, කදුළු දහදියවලින් තෙත් වී තිබෙනවා. එම සියලු දෙනා හැමදාමත් අපේ හදවත්වල වීරත්වයේ ඉහළින්ම සිටිනවා. ඒ නිසා විශේෂයෙන් අද දිනයේ අපේ මව්බිමේ නිදහස සහ ජනතාවගේ උත්තුංග වූ නිදහස වෙනුවෙන් සටන් වැදුණු සියලු වීරවරයන්, වීරවරියන් වෙනුවෙන් අපේ උත්තමාචාරය සහ ගෞරවය පුද කළ යුතුයි.
අපි නිදහසින් පසුව 78 වසරක් ගමන් කර තිබෙනවා. එහෙත් මා හිතනවා අපේ නිදහසේ ඉතාමත් වැදගත් කාර්යභාරය වන්නේ සහ නිදහස පරිපූර්ණත්වයට පත් වන්නේ අපිට ආර්ථික වශයෙන් මොනතරම් ප්‍රමාණයකින් නිදහසක් උදා කර ගත හැකිද යන සාධකය මතයි. මා හිතනවා අපිට නිදහසේ පරිපූර්ණත්වය සඳහා වූ සටනක් සහ අරගලයක් තිබෙනවා. ඒ සටන සහ අරගලය තිබෙන්නේ ඔබ අප සහ මා තුළමයි කියා මම විශ්වාස කරනවා.
විශේෂයෙන් මෙවර නිදහස් දිනයේ අපේ ප්‍රධාන තේමා පාඨය වූයේ “ගොඩනඟමු ශ්‍රී ලංකා” යන්නයි. අපි මේ ශ්‍රී ලංකාව අපේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය සහ නිදහස යන ප්‍රතිමූර්තින් මත යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. එම යළි ගොඩනැඟීමේදී අපේ සාරය බවට පත් කර ගත යුත්තේ කුමක්ද? අපි ඉතා පෞඪ ඉතිහාසයකට හිමිකම් කියනවා. අපේ ආදි මුතුන් මිත්තන් එම යුගයට ගැළපෙන ආකාරයට ඉතාමත් ඉහළ තාක්ෂණ දැනුමකින් හෙබි බව අපේ ඉතිහාසය පෙන්වා දෙනවා. අපි මහා පෞඪත්වයකට, ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක්.
ඒ වගේම මෑත ඉතිහාසයේ අපි බැහැර කළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම අත්පත් කරගත් සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ මාවත වන්නේ අපේ මාතෘභූමිය සමඟ තිබෙන ඓන්ද්‍රීය සබඳතායි. අපේ ජාතිය ගොඩනැගීමේදී නිදහස විසින් එක් කරනු ලැබ තිබෙන මහා සාරය මේ මහපොළව මත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මාවතක ආර්ථිකය ගොඩනැඟීමයි. එය හුදු මාතෘ භූමියේ අක්මුල් සිඳින ලද, අපේ ජාතියේ සාරය කෙළෙසන ලද ආර්ථික සංවර්ධන මාවතක් නොවෙයි. අපේ මාතෘ භූමියේ, අපේ ජාතියේ සාරය ඒ මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මාවතට අපි අවතීර්ණ විය යුතුයි.
නිදහසින් පසු, ගෙවණු 78 වසර තුළ ලබාගත් ජය සහ පරාජයන් තිබෙනවා. හොඳ වගේම නරක තිබෙනවා. අපි කිසිසේත්ම නරක දේ බැහැර කිරීමට පැකිළෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත්ම හොඳ දේ උකහා ගැනීමට බිය වන්නේද නැහැ. ඒ නිසා අතීතයේ සාරවත් දේ මත මේ ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වගකීම අප ඔබ සතුව තිබෙන බව මම විශ්වාස කරනවා.
අපි පළමුවෙන්ම අපේ ශක්‍යතා සහ හැකියා පෙළගස්වා ගතහොත් අපිට තිබෙන ප්‍රධානම ශක්තිය කුමක්ද? අපි මහා සමුද්‍රීය කලාපයකට හිමිකම් කියන බව කිව හැකියි.  ඒ වගේම ඉතාමත් හොද දේශපාලන කලාපයක පිහිටා තිබෙන බව සහ අපි රටක් ලෙස ස්වාභාවික සම්පත්වලින් අනූන බව කිව හැකියි. එහෙත් අප විශ්වාස කරනවා ඒ සියල්ලටම වඩා මහානර්ඝ සම්පත වන්නේ අපේ රටේ මානව සම්පතයි. ඒ නිසා අපේ රට ගොඩනැඟීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම්, අපේ මානව සම්පත ලෝකයේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටී සෑම අතින්ම සම්පූර්ණ වූ මානව සම්පතක් බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතීන්, බෙදීම වෙනුවට සමගිය පෙරදැරි කර ගත් නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි.
විශේෂයෙන්ම  කලාව, සාහිත්‍යය, ඉතිහාසය වගේම නව තාක්ෂණය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් උසුළන බව අපි කවුරුත් දන්නවා. එසේ නම් දැනුමෙන්, සහකම්පනයෙන් සහ නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනූන මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. එය නිර්මාණය කිරීමට නම් අපි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගය ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගතීන් මොන තරම් ප්‍රමාණයක් එම නව මිනිසෙක් ගොඩනැඟීම සඳහා වන ප්‍රයත්නයට බාධා කරනවාද ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය නව මානවයා නිර්මාණය කිරීමට අවශ්‍ය පරිවර්තනීය කාර්යභාරය ඉටු කිරීමට අපි සූදානම්. ඒ සඳහා මේ රටේ ජනතාවගේ සහාය ලැබෙන බව මම විශ්වාස කරනවා.
ඒ වගේම, අපි සතුව තිබෙන මේ මානව සම්පතේ ශක්තිය රැඳි පවතින්නේ සමගිය මතයි. අපි බෙදුණොත් අපේ ශක්තීන් දුබල වෙනවා. එකිනෙකා කෙරෙහි වෛරය,ක්‍රෝධය, ගැටුම නිර්මාණය වුවහොත් අපේ ප්‍රධාන ශක්තිය දුබල වෙනවා. ශ්‍රී ලංකාව ආගම් කිහිපයක් අදහන ජනතාවක් සිටින රටක්. තමන්ට අනන්‍ය වූ සංස්කෘතින් කිහිපයකින් හෙබි ජනතාවක්. විශ්වාස, සංස්කෘතින්, ඇදහීම්වල වෙනස්කම් තිබෙනවා. මෙම වෙනස්කම් ගැටුම වෙනුවෙන් උපයෝගී කර ගත හැකියි. මේ වෙනස්කම් අපිට අනෙකාට එරෙහිව අවියක් ලෙස ඔසවා තැබිය හැකියි. හැබැයි, එය අපේ ශක්තීන් දුබල කර ගැනීමක්. ඒ නිසා අපේ පරමාර්ථය වන්නේ මේ වෙනස්කම්වලට ගරු කරමින් සියලු ජන කණ්ඩායම්වල අනන්‍යතාව පිළිගනිමින්,එහෙත් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි අපේක්ෂා කරන නව පරිවර්තනීය යුගය ගොඩනැඟීමයි.
අපේ ශබ්දකෝෂයේ තිබෙන අවලස්සනම වචන දෙක කුමක්ද? ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා, අපි විශ්වාස කරනවා ජාතිවාදය සහ අන්තවාදය නිසා සිදු විය හැක්කේ අපි සතුව තිබෙන ශක්තීන් අපම ස්වයංව විනාශ කර ගැනීමයි. ඒ නිසා අපේ රටේ කිසිදු බෙදීමකට, ජාතිවාදයකට, අන්තවාදයකට ඉඩ නොතබන බවත්, අපේ රටේ ජාතික සමගිය අපේ රට ගොඩනැගීමේ ප්‍රධාන ශක්තිය ලෙස ගොඩනඟන බවත් මේ රටේ ජනතාවට මම ප්‍රකාශ කරන්න කැමතියි.
ශක්තිමත් මානව සම්පතක් ගොඩනැඟීම, සමගිය නිර්මාණය කර ගැනීම වගේම, ඒ සියලුදෙනාට නීතියේ විධානයේ ආධිපත්‍යය සමානාත්මතාවෙන් යුතුව සාධාරණව ඉටු කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. අපි නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම සෑම දෙනාම නීතිය යන රේඛාවට යටින් සිටිය යුතුයි. පොදු පුරවැසියා තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය පිළිබඳව විශ්වාසය තහවුරු කළ යුතුයි. සෑම නිවැරදි පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යය අපේක්ෂා කරන බව අපි දන්නවා. එහෙත් නීතියේ විධානයේ ආධිපත්‍යය නොසලකා හරින, බිඳ දමන ලද අයවලුන් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වෙනවාට බිය බවත් අපි දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාව ගොඩනැඟීමේදී ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ කියන තේමාවට පණ ලැබෙන්නේ අපි අපේ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීමෙන් බව අපි විශ්වාස කරනවා.
ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී වර්තමානයේ ජිවත් වන අපේ පරම්පරාව වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යය අපි ගොඩනැඟිය යුතුයි. අපි මෑත කාලයේ අත්විදි සුළි කුණාටුව දෙස බලන්න. නාය යාම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. විශේෂයෙන් අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍යම කඳුකරය. මධ්‍යම කඳුකරය රූරා ගලා හැළෙන ගංගා පද්ධති තමයි මේ මධ්‍යම කඳුකරයට ජීවය කැටුව එන්නේ. මධ්‍යම කඳුකරය වෙත වැටෙන මහා වර්ෂාපතනය මේ මාතෘභුමියට අවශ්‍ය සෞභාග්‍යය ගෙනැවිත් දෙනවා. එහෙත් අපි අපේ ජීවිත කාලය තුළම අත්දකිමින් සිටිනවා මධ්‍යම කඳුකරයට ඇති වී තිබෙන විනාශයේ බරපතළ බව.
සියලු ස්වභාවික සම්පත්, සියලු පරිසර පද්ධති, සතා සිව්පාවන් මුළුමනින්ම විනාශ කරමින් සහ තර්ජනයට ලක් කරමින් ගොඩනැඟෙන ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද? අපි අපේක්ෂා කරන්නේ පාරිසරික පද්ධතිය ඉතා හොඳින් ශක්තිමත් කෙරෙන සහ අපි ඉපදෙන විට තිබූ ගහකොළ සතා සිව්පාවා සහ සෞන්දර්ය, ඒ වගේම හෝ ඊටත් වඩා වැඩියෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමයි. එය ගොඩනඟමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළෙහි ප්‍රධාන කාර්යභාරයක් විය යුතුයි. ඒ නිසා පරිසර පද්ධතිය මුළුමනින්ම විනාශ කරමින් යන සංවර්ධන මාවතක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. එහි භයානක ප්‍රතිවිපාකවලට මෑතකාලීනව මුහුණ දුන් ජාතියක් ලෙස අපි ඒ ගැන විශාල වශයෙන් කල්පනා කළ යුතුයි.
ඒ වගේම, අපේ රට ගොඩනැඟීමේදී අපිට ඉතා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍යයි. අපි දන්නවා ලෝකය වෙළෙඳපොළ පිළිබඳ තරගයක සහ බෙදීමක සිටිනවා. ලෝකයේ එක් එක් රාජ්‍යයන් තමන්ගේ බලය, දෘෂ්ටීන්, ආධිපත්‍යය පැතිර වීම සඳහා වූ ගැටුමක් තිබෙනවා. දැන් ලෝකය සැලකිය යුතු ප්‍රමාණයකින් ගැටුම්වලින් සමන්විත සහ  නිරන්තරයෙන් සිදුවීම් නිර්මාණය කරන ලෝකයක් බවට පත් වී තිබෙනවා.  අපේ මාතෘ භූමියට වඩවඩා ජයග්‍රහණ ගෙන දෙන, අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වඩාත් තහවුරු කරන, අපේ රටේ ජනතාවගේ ජීවිත වඩාත් උසස් කෙරෙන නව මානයකින් වූ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම අපේ අපේක්ෂාවයි. අපේ රට යළි ජාත්‍යන්තරය තුළ ඉතාමත් ශ්‍රේෂ්ඨ ජාතියකින් හෙබි ගෞරවනීය රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම අප මේ යන මාවතේ වැදගත් සාධකයක්. මම හිතනවා මේ කුලුනු මත තමයි අපේ රාජ්‍යය ගොඩනැඟිය හැකි වන්නේ.
නීතිය නොමැති තැනක, සමගිය නොමැති තැනක, යහපත් ජාත්‍යන්තර සබඳතා නොමැති තැනක, පරිසර පද්ධතිය විනාශ වූ තැනක සහ සමාජය අයහපත් වූ තැනක සංවර්ධනය යන බීජය, ගොඩනඟමු යන තේමාව යටතේ යථාර්ථයක් කළ නොහැකියි.  ඒ නිසා අපේ අධිෂ්ඨානය විය යුත්තේ අපේ රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන කුලුනු සහ පදනම් නිර්මාණය කිරීමයි. එය අපි කරමින් තිබෙනවා. එම කුලුනු මත ශක්තිමත් සහ නොසැලෙන ආර්ථිකයක් අපි ගොඩනැඟිය යුතුයි.
2025 වසර වැදගත් ආර්ථික සාධක සියල්ලකින්ම පාහේ ඉහළ ප්‍රගතියක් ලැබූ වසරක්.  1977න් පසු අඩුම අයවැය හිඟය වාර්තා කිරීම, 2026 වසරින් පසු වැඩිම ආදායම ඉපැයීම, ලංකා ඉතිහාසයේ ජංගම ගිනුමේ වැඩිම අතිරික්තය, ඉතිහාසයේම ආදායම බදු දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ඉපැයූ වසර, බැංකු පොලී අනුපාතය දිගුකාලයක් තනි ඉලක්කමේ පවත්වා ගැනීම, ඒ වගේම ආර්ථික සාධකවල ඉතා ජයග්‍රාහී ස්ථාවරත්වයක් පෙන්නුම් කරමින් තිබෙනවා. හැබැයි, ආර්ථිකයක් රඳා පවතින්නේ ධනාත්මක දත්ත මත පමණක් නොවෙයි. අපි ආර්ථික වශයෙන් අත්පත් කර ගන්නා ජයග්‍රහණ පතුලේම සිටින ජනතාව වෙත ගලා යා යුතුයි. ජනතාවගේ ජීවිත උසස් වන්නේ නැති නම් ජනතාවගේ ජිවිත පහසු කරන්නේ නැති නම් ජනතාවට මානසික නිදහස සහිත ජිවිතයක් උරුම කර දීමට ආර්ථික සාධක සමත් වන්නේ නැති නම් එම ආර්ථිකය සංඛ්‍යා දත්ත මත පමණක් පිනුම් ගහන ආර්ථිකයක් බවට පත් වෙනවා. ඒ නිසා ආර්ථිකයේ ප්‍රධානතම ජයග්‍රාහී හැරවුම වන්නේ අපි ආර්ථිකයේ ඉහළ තලයේ උපයා ගන්නා ශක්‍යතා සහ ජයග්‍රහණ ගමේ පහළම පුරවැසියාගේ ජිවිතය උසස් කිරීමට යෙදවීමයි. ඒ නිසා යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ආර්ථිකයේ පහළම ජන කණ්ඩායම දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යන නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි.
ඒ වගේම නිදහස, පූර්ණ නිදහසක් බවට පරිවර්තනය වන්නේ අපි මොන තරම් ප්‍රමාණයකට ආර්ථික වශයෙන් ශක්තිමත්ද යන සාධකය මතයි. ආර්ථික දායකත්වය කාර්යයන් දෙකකින් වැදගත්. එක් පසෙකින් ජනතාවගේ ජිවිතය උසස් කිරීමට මෙන්ම අපේ රටේ ස්වෛරීභාවයේ සහ ස්වාධීනත්වයේ බලය තහවුරු කර ගැනීමට එය වැදගත් වෙනවා. එසේ නම් ඒ සඳහා අවශ්‍ය නව ආර්ථික දැක්මකින් යුතුව අපේ රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. ඒ සඳහා මේ වන විටත් අපේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, රාජ්‍ය සේවය සහ ජනතාව සමග පුළුල් සංවාදයක අප නිරතව සිටිනවා.
මේ රට ගොඩනැඟීම අපේ ප්‍රධානම සම්පත වන මානව සම්පත විසින් දෙවුර මත පවරා ගනු ලැබිය යුතු කාර්යයක්. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාව සහ වැඩසටහන අපි දියත් කර තිබෙනවා. ඒ නිසා අපේ පැරණි ඓතිහාසික උරුමයන්, අත්දැකීම්,මේ සියල්ල කැටි කර මේ ශ්‍රී ලංකාව ගොඩනැඟිය හැකියි. මේ 78 වන නිදහස් දිනයේදී අපි අපේ හදවතට, අපි අපේ ඥානයට එකතු කළ යුතු වන්නේ මේ රට ගොඩනැඟීම පිළිබඳ තිර අධිෂ්ඨානයයි. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස මාද, අපේ කැබිනට් මණ්ඩලයද, විපක්ෂනායකතුමා, රාජ්‍ය සේවය,  මහා සංඝරත්නය, ආගමික සංස්ථාවන් අපි සියලුදෙනාද මේ රට සෑම අතින්ම ගොඩනංවමු කියා තිර අධිෂ්ඨානයකට එමු.
අප්‍රිකානු ආප්තෝපදේශයක් තිබෙනවා “ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනිවම යන්න. හැබැයි, ඔබට වැඩිදුරටත් යාමට අවශ්‍ය නම් එකට යන්න” කියලා. අපිට අවශ්‍ය වී තිබෙන්නේ සෑම ක්ෂේත්‍රයකින්ම වැඩි දුරක් යාමටයි. ආර්ථිකයේ වැඩිදුරක් යා යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය වැඩිදුරටත් තහවුරු කළ යුතුයි. අපේ පරිසර පද්ධතිය වැඩිදුරටත් ආරක්ෂා කළ යුතුයි. එසේ නම් ඒ ගමන යා යුතු වන්නේ තනිව නොවේ. තනිව වේගයෙන් යා හැකි වුවත් අපිට අවශ්‍ය වැඩිදුරක් යාමයි. ඒ වැඩිදුර යාම සඳහා අපි එකට යමු කියා ආරාධනා කරමින් මා නතර වෙනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here