අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක තොග මිල ඉහළට

0
5

මැදපෙරදිග ඇතිව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල කිලෝවක තොග මිල රුපියල් 2–3 අතර මිලකින් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය පාරිභෝගික ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.

එසේම, ඉරානයෙන් ලබා ගත් හාල්මැස්සන් මේ වන විට නොලැබෙන තත්ත්වයක්ද පවතින බව ඔහු සඳහන් කළේය.

යුදමය වාතාවරණය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් නිතර වෙනස් වෙමින් පවතින අතර, අල සහ ළුෑණු වැනි භාණ්ඩවල තොග මිල කිලෝවකට රුපියල් 10 කින් පමණ අඩුවී ඇති බවද ඔහු පැවසීය.

නෞකා සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා, දැනටමත් ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රවාහනයේදී අමතර වියදම් දරාගැනීමට සිදුව ඇති බවද ඔහු පැහැදිලි කළේය.

මෙතෙක් භාණ්ඩ හිඟයක් පැන නැගී නැති නමුත්, මිල ගණන් වල උච්චාවචනය දිගටම සිදුවන බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධික ලෙස තොග කර තබා ගැනීමෙන් වලකින ලෙසද ඔහු උපදෙස් දුන්නේය.

තවද, පෙරදී මෙරටට ගෙන්වූ හාල්මැස්සන්වලින් සෙ. 60ක් පමණ ඉරානයෙන් ආනයනය කළ බවත්, එම සැපයුම අහිමිවීමත් සමඟ තායිලන්තයෙන් එම භාණ්ඩ ගෙන්විය හැකි බවද ඔහු කියා සිටියේය.

එසේම, ටින් මාළු ආනයනය සම්පූර්ණයෙන් නතර වී ඇති අතර, දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා නැවත ටින් මාළු ආනයනයට අවසර ලබාදෙන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධික ලෙස තොග නොකර නිසි කළමනාකරණයක් යටතේ කටයුතු කළහොත්, ඉන්දියාව, චීනය සහ පාකිස්තානය වැනි රටවල්වලින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා උත්සව සමයේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්විය හැකි බවද නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here