අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිතයින් අතර හමුවක් පසුගිය 10 වන දින අගමැති කාර්යාලයේදී පැවැත්විණි.
යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) නියෝජිත පිරිස පිළිගත් අගමති, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, සංවර්ධන සහ ආර්ථික හවුල්කරුවෙකු ලෙස යුරෝපා සංගමයේ කාර්යභාරය පිළිබඳ සඳහන් කළා ය.
යුරෝපා සංගමය ලබා දෙනා අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළ අගමැති, මෑත කාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා සුළි කුණාටු තත්වයෙන් රට නැවත ගොඩ නැගීමට යුරෝපා සංගමය ලබා දුන් සහාය සඳහාද මෙහිදී අගය කළා ය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු වූ අතර ආර්ථික කටයුතු, වෙළඳාම සහ ආයෝජනය සඳහා පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ වැදගත්කම පිළිබඳවද අගමැති අවධාරණය කළා ය.
ආර්ථික ස්ථාවරත්වය, පාලනය ශක්තිමත් කිරීම සහ තිරසාර වර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් නව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද මෙහදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ නියෝජිත පිරිස දැනුවත් කළා ය.
මෙම අවස්ථාවට යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්යක්ෂ, ඒකාබද්ධ කොමිසමේ යුරෝපා සංගම් සම සභාපති, Paola Pampaloni, යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් නියෝජිත දූත පිරිසේ ප්‍රධානී Carmen Moreno සහ යුරෝපා සංගමයේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් මෙන්ම අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.



0
Saru News
















