අකලට හැලෙන කොණ්ඩය රැකගන්න නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු.

0
14


කොණ්ඩය යාම අසාමාන්‍ය තරමට වැඩි බව ඔබට දැනිලා තියෙනවාද? කාමරයේ, නාන කාමරයේ බිම හැම තැනම කෙස් වැටිලා ද?

ඒ නිසා විස්සෝපයට පත් වෙලා ඉන්න ඔබ කියවිය යුතුම ලිපියක් තමයි මේ.

මුලින්ම ඔබ මතක තබා ගන්න ඕනෑ දෙයක් තිබෙනවා. “දවසකට සාමාන්‍ය ප්‍රමාණයෙන් හිසකෙස් ගිලිහී යනවා. අවම තරමේ හිසකෙස් අසූවක් පමණ ගැලවී යාම සාමාන්‍ය දෙයක්”.

හිසකෙස් ගැටලු සඳහා අප බොහෝ රූපලාවණ්‍ය උපදෙස් ඔබට ලිපි හරහා ලබා දී තිබෙනවා. ඒවාද සාර්ථක නැතිනම් ඔබට මෙන්න මේ කාරණ ගැන සිතා බලන්නට සිදු වෙනවා.

ඔස්ට්‍රොජන් හෝමෝනය ඔබේ හිසකෙස් වර්ධනය කරන්න හේතුවක් එහි අසමතුලිතතා ඔබේ හිසකෙස් ගිලිහී යාමට හේතුවක් විය හැකියි.ඇන්ඩ්‍රොජන් හෝමොනය සිරුරේ බහුල වීම නිසා ද ඔබේ හිස කෙස් ගිලිහී යන්න හැකියාව පවතිනවා.

ආතතියට පත් වීම, විශාදයෙන් පීඩා විඳීම ඔබේ හිසකෙස් ගිලිහී යාමට තවත් හේතුවක්.එහිදී ද සිරුරේ ඇන්ඩ්‍රොජන් හෝමෝනය ඉහළ යනවා. ඒ වගේම ඔබ ආතතියෙන් ඉන්නාවිට ස්නානයෙන් වැළකීම නිසා ඉස්සොරි හට ගැනීම, නිසිලෙස ආහාර නොගැනීම නිසා පෝෂණය මදිවීම මෙය තවත් උග්‍ර කරනවා.

සිරුරේ යකඩ මට්ටම හිසකෙස් වලට ප්‍රෝටීන් නිපදවීමට අත්‍යවශ්‍ය හේතුවක්. ඒ නිසා යකඩ ඌණතා ද හිසකෙස් ගැලවී යාමට බලපානවා.

පටක වලට ඔක්සිජන් ගෙන යන රතු රුධිර සෛලවලට මේ ඌණතාවය නිසා බාධා වෙනවා. එය හිසකෙස් වර්ධනයට ද බාධාවක්.

hypothyroid සහ hyperthyroid වැනි තයිරොයිඩ් අසමතුලිතතාවයක් ඔබේ හිස කෙස් හැලී යාමට හේතු වෙනවා.

ආර්තවහරණය සිදු වීමට ආසන්න කාලයේ සහ ආර්තවහරණයෙන් පසු ද හිසකෙස් ගිලිහී යාම සාමාන්‍යයෙන් සිදු වෙනවා.

දැඩි ලෙස කොණ්ඩයට වර්ණ ගැන්වීම, නිතර අයන් කිරීම, කොණ්ඩයේ ස්වරූප වෙනස් කිරීම නිසා ඔබේ කොණ්ඩය හැලී යන්න පුලුවන් 

එදිනෙදා අප සිදු කරන රූපලාවණ්‍ය සත්කාර හැරුණාම මෙන්න මේ කාරණා අනිවාර්යයෙන් කළ යුතුයි.

ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්,යකඩ  ආදි පෝෂක අඩංගු ආහාර නිසි පරිදි ලබා ගැනීම ඔබේ කොණ්ඩය ගිලිහී යාම අඩු කරන්නට හේතුවක්. නිසි පෝෂණය සිරුරට ලැබීම මේ ගැටලුව ප්‍රධාන වශයෙන් අඩු කරන්නට හේතුවක්.

කොණ්ඩයට විලාසිතා කරද්දී අත්දැකීම් ඇති රූපලාවණ්‍ය ශිල්පිනියක තෝරා ගැනීම සහ අහිතකර ලෙස නිතර නිතර කොණ්ඩය අයන් කිරීම, ස්ට්‍රේට් කිරීම ආදියෙන් වැළකිය යුතුයි. ඒ වගේම කොණ්ඩය නිසි ලෙස තෙල් සත්කාර කිරීම, රසායනික ද්‍රව්‍ය දැඩි ලෙස අඩංගු නැති ෂැම්පු සහ කන්ඩිෂනර් තෝරා ගැනීම කළ යුතුයි.

ආතතියෙන් මිදීම අත්‍යවශ්‍ය දෙයක්.ඔබේ මානසික ගැටලුවෙන් මිදී නිසි ජීවන රටාවක් පවත්වා ගැනීම නිසා ද ඔබේ හිසකෙස් ගිලිහී යාම අඩු කර ගන්න හැකියාව ලැබෙනවා.

කොණ්ඩය ගැලවී යාම අසාමාන්‍ය බව හිතෙනවා නම් වෛද්‍යවරයෙක් හමුවට යා යුතුම බව මතකයේ තබා ගන්න.කොණ්ඩය ගැලවී යාම ඔබට රෝගයක් ගැන අනතුරු අඟවනවා විය හැකියි. ඒනිසා වෛද්‍යවරයෙක් හමුවට ගොස් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.

මූලිකම දේ තමයි බියක් ඇති කරගන්න එපා. ඕනෑම ගැටලුවකට විසඳුම් තිබෙනවා.ඒ නිසා බිය නොවී ගැටලුව හටගත් තැන සොයා ගන්න.

සාමාන්‍ය ලෙස හිසකෙස් ගිලිහී යාම සහ රූපලාවණ්‍ය ක්‍රමවල වැරදි නිසා හිසකෙස් ගිලිහී යාමට කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ගැන අපි ඉදිරියේ දී කතා කරමු.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here