දරුවන් ඉල්ලන හැම දෙයක්ම දෙනවාද…?

0
12


පසුගිය දිනක බී.බී.සී පුවත් සේවයේ පළ වී තිබුන පුවතක් ඔබත් කියවන්නට ඇති. තම දෙමව්පියන් සමග බාලි දූපත් සංචාරයේ යෙදෙන්නට සිටි පවුලක දරුවෙක් තනියම බාලි දූපතට ගිය බව ඒ පුවතයි. ඔහුගේ වයස අවුරුදු 12 යි. ඔහු මේ තීරණය ගෙන ඇත්තේ  මුලින් පොරොන්දු වුන විදිහට දෙමව්පියන් විසින් එම සංචාරය කිරීම මග හැර ඇති නිසා බවත් පළ වී තිබුණා.මෙහි තවත් පැත්තක් වුනේ ඒ දරුවා මව්පියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතෙන් මුදල් හොරෙන් ලබා ගෙන මෙම සංචාරය තනිවම යෑමයි. ඔහු විදේශ ගමන් සේවය පවා නොමග යවා තිබෙනවා.

මේ පුවත උලුප්පා දැක්වීම නිසා සිදුවීම් දෙකක් සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී දරුවන් සිතන්නේ ඔහු වීරයෙක් බවයි. ඒ වගේම මෙම ගමන වෙනුවෙන් ඔහු අනුගමනයට කරන ලද ක්‍රමවේදයන් ඉස්මතු කිරීම නිසා දරුවන්ටත් එවැනි තීන්දු තීරණ ගැනීමට හොඳ අවස්ථාවක්. එහෙමනම් අපි දෙමව්පියන් විදිහට මේ ගැන හිතන්නේ කොහොමද…?

 බාල කාලයේදී දරුවන් ඉල්ලන හැම දෙයක්ම ඔබ ඇත්තටම ලබා දෙන්නේ ඔවුන්ට තිබෙන ආදරය නිසයි.සමහර විට එය දරුවාට අනවශ්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. එහෙත් ඔහුගේ ඇඩිල්ලට, පොලවේ හැපිල්ලට බියෙන් ඔබ දරුවාගේ එම ඉල්ලීම ඉටු කරනවා. සමහර විට මේ අවස්ථාවන්හිදී දෙමව්පියන් විදිහට ඔබ ආර්ථික වශයෙන්ද දුෂ්කරතාවයන් විඳ දරා ගෙන දරුවාගේ ඉල්ලීම ඉටු කරනවා විය හැකියි. ඒ නිසා දරුවා ඉල්ලන හැම දෙයම නොව නිතරම ඔහුට අවශ්‍ය දෙය පමණක් ලබා දෙන්න.

ඔබට එය අනවශ්‍ය දෙයක් ලෙසින් හිතුනත් දරුවා හිතන්නේ එය තමාට අවශ්‍ය බවයි. එය දරුවන්ගේ ස්වභාවයයි. ඒ නිසා සෘජු ලෙසින්ම දරුවාගෙන් ඉල්ලීම ප්‍රතික්ෂෙප නොකොට එහි තිබෙන අනවශ්‍යතාවය ඔවුන්ට පෙන්වා දෙන්න. එය දරුවාට ඒත්තු යන විදිහට මිසක දැඩි සේ ප්‍රතික්ෂෙප ස්වරයෙන් නොකියන්නත් වග බලා ගන්න. එසේ නොමැතිව ඔබ දරුවාගේ ඉල්ලන ඉල්ලන හැම දෙයම ඉවක් බවක් නොතබා ඉටු කරන විට අනාගතයේදී ඔහු සුපිරි මෝටර් රථයක් ඉල්ලා කරදර කළොත් එයත් මිළට ගැනීමට සිදු වේවි.එවන් ඉල්ලීමක් ඉටු කිරීමට ඔබට නොහැකි බව ඔහු තේරුම් ගන්නේ නැත. ඊට හේතුව බාල කාලයේ පටන්ම ඉල්ලන හැම දෙයින්ම ඔවුන් පෝෂණය වූ නිසයි.

 බාල කාලයේ පටන්ම දරුවා වෙනුවෙන් ආදර්ශමත් චරිත කථා සහ සාහිත්‍ය වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්න. සමාජයේ දඩබ්බරයන් ඔවුන් විසින්ම වැනසෙන බව පහදා දෙන්න. ඉස්සර කාලයේ අත්තම්මා, අම්මා දරුවා තමාගේ උකුලේ තබා ගෙන කියා දෙන “කොටියා ආවා” කියා මිනිසුන් රවටා අසීරුවට පත් වීම , අනවශ්‍ය ලෙසින් කථාවට ගොස් ඉබ්බා විනාශ වීම වැනි පුංචි පුංචි කතාන්දර දරුවන්ගේ චරිත සංවර්ධනයට බෙහෙවින් හේතු වුණා. ඒ වගේම

“සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි …”

වැනි දරුවන්ගේ යහගුණ ඉස්මතු කරන කවි නිරන්තරවම ඔවුන්ට කියා දෙන්න.

 අම්මා , තාත්තා ‍කියන දේ නාහන දරුවා අනාගතයේදී අසීරුතාවයට පත් වෙන බව ඉතාම තදින් දරුවන්ට කියා දෙන්න. මෙවන් සමාජ සිද්ධියකින් පවා ඒ ගැන පැහැදිලිව කියා දීමට පුලුවනි.දරුවන් චරිත අනුකරනයට ඉතා කැමැත්තක් දක්වන පිරිසකි. මඩොල්දූවේ ජින්නා ගේ චරිතය තමාට ආරෝපනය කර ගැනීමට , අඹයහළුවෝ හි චරිත වීමට දරුවන් කැමැත්තක් දක්වති. අවදානම් කටයුතු ගැන විමසිල්ලෙන් සිටින දරුවන් සිටිති. ඔස්ට්‍රෙලියාව වැනි රටවල හැරී පෝටර් ප්‍රබන්ධ පවා දරුවන්ට නුසුදුසු බව පිලිගෙන එම සාහිත්‍යයට පවා තහංචි පනවා ඇති රටකි. ඒත් මේ දරුවාද ඔස්ට්‍රෙලියානු ජාතිකයෙක් වීම තුලින් පෙනෙන්නේ ඔහු ඉදිරියේ ඇති අවදානම ගැන නොතකා මෙම වැරැදි කටයුත්ත වෙනුවෙන් යොමු වී ඇති බවයි. ඒ නිසා දරුවන්ට ඔබ කියා දිය යුත්තේ ඔහු වීරයෙක් නොව අකීකරු සහ වංචා සහගත දරුවෙක් බවයි. මෙම කටයුත්ත පිටුපසින් තිබෙන අවදානම සහ වැරැදි සහගත බව දරුවන්ගේ මනසට කා වදින අන්දමින් කියා දීම ඉතාම වැදගත් වෙනවා.

 දරුවා මව්පියන් සමග අමනාපව බාලි දිවයිනට පිටත්වීම තෙක් ඔහු බොහෝ දේ සැලසුම් කරන්නට ඇති. මව්පියන් සමග බහින් බස් වීමක් සිදු වීම සහ එහිදී දෙපාර්ශවයේම ප්‍රතිචාර මෙතැනදී වැදගත්. දරුවා ආවේග සහිත නම් ඔහු පිළිබඳව මව්පියන් වඩාත් පසුවිපරමින් සිටිය යුතුව තිබුණි. ඔහුගේ හැසිරීම තුලින් ඔහු සැරසෙන්නේ කුමකටද බව ඒත්තු ගැනීමට තිබුණි. එමෙන්ම මෙම සංචාරය කල් තැබීමට වූ හේතු සාධාරණීයකරනය කිරීමෙන් දරුවා අස්වසන්නට තිබුණි. එහෙත් මව්පියන් එතෙක් මෙතෙක් කිසිවක් දැන නොසිටියා යනු ඔවුන්ගේ පාර්ශවයෙන්ද යම් දුර්වලතාවයක් වීමට තිබුණි. තවත්  ඔහු බාලි දිවයිනට යෑම අනතුරක් නොමැතිව සිදු වුනත් එසේ නොවුනා නම් විය හැකි බොහෝ දේ තිබුණි. මේ තරම් තීන්දුවක් ගැනීමට ආවේඝ තිබෙන දරුවෙක් ගැන මීට වඩා විමසිල්ලෙන් සිටිමත් වැදගත්.

 දෙමව්පියන් වශයෙන් ඔබ නිතරම දරුවාට යම් ආශ්වාදයක් , විනෝදයක් ලබා දෙන කටයුත්තක් සංවිධානය කරනවා නම් එහි සියල්ලම සැලසුම් කිරීමෙන් පසුව ඔවුන්ට කියන්න. එසේ  නොමැතිව දරුවන්ගේ මනසේ සිහින පමණක් ගොඩ නැගීම එතරම් සුදුසු නැත.මනසේ මවා ගත් සුන්දර සිහිනය ඉටු නොවෙන විට දරුවන් විදිහට ඔවුන්ටත් යම් පසුතැවිල්ලක් ඇති වීම සාධාරනයි. ඒ නිසා නිතරම බො‍රු පොරොන්දු ලබා දීමෙන් වලකින්න. කළ හැකි දෙය පමණක් කියන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here